1. සමහරක් විට කවුරුන් හෝ ඔබට කියා ඇති කුරුලෑ ඇති වන්නේ හොඳින් මුහුණ සෝදන්නේ නැති විටයි කියලා, නමුත් මේක වැරදියි.
2. සමහර අය හිතනව කුරුලෑ බෝ විය හැකියි කියලා, මේකත් වැරදියි.
3. ලිංගිකව ස්වයං වින්දනයේ යෙදෙන අයට වැඩිපුර කුරුලෑ එනවයි කියන එකේ කිසිම සත්‍යයක් නැහැ.
4. වෛද්‍යවරයාට කියා නියම කරවා ගත හැකි කුරුලෑ වලට අදාල ප්‍රතිකාර ඖෂධ කීපයක්ම තියෙනවා.
අපි බොහෝ දෙනෙකුට තරුණ කාලෙදි කුරුලෑ (Acne/pimples) හදෙනව. සමහරක් මැදිවියේ කට්ටියටද කුරුලෑ හදෙන්න පුලුවන්. කුරුලෑ කෙටි කාලයක් පවතින්න පුලුවන් නැත්නම් අවුරුදු කීපයක්ම තියෙන්නත් පුලුවන්. කුරුලෑ තදින් වලඳුනොත්, සමේ කැළැල් ඇතිවෙනවා, නමුත් නිසි ප්‍රතිකාර මගින් මෙය වලක්වා ගත හැකියි.
කුරුලෑවක් යනු කුමක්ද?
සමේ ඇති ස්වේද ග්‍රන්ථි (sebaceous glands) තුල වැඩිපුර ස්වේදය (sebum) නිපදවීම හෙතුවෙන් එම ග්‍රන්ථිය තුලින් පැන නගින කෙස් ගස් (hair) මැරෙනවා. ග්‍රන්ථිය තුල හිරවන ස්වේදය හා සෛල සමග අවට ඇති සමද ආසාදිත තත්වයකට පත්වෙනවා. අවසානයේදී එම ග්‍රන්ථිය සුදු රුධිරාණු හා බැක්ටීරියාවන්ගෙන් පිරී සැරව කුහරයක් බවට පත් වෙනවා. මෙසේ ඇති වූ සැරව පිරි කුරුලෑව කඩා නොදැමුවහොත් බොහෝ විට ඉබේටම පුපුරා ඉවත් වෙනවා. ටික දිනකින් සම යළි ස්වාභාවික තත්වයට පත්වෙනවා.
- ස්වේදය සමට වහාම යතින් එකතු වුනොත්, සුදු පැහැ ගෙන සුදු බිබිලි ඇතිවෙනවා. (whiteheads)
- සිරවුනු ස්වේද නාල පිම්බී අරෙන්නට පුලුවන්, එතකොට, එතන කලු පැහැ ගන්වෙනවා (blackheads), ඒ සිරවුනු ස්වේදය හා ප්‍රෝටීන නිසායි. කුණු නිසා නොවේ.
- මෙම බිබිලි ඉදිමී රතු වී ආසාදනය වෙන්නේ එහි බැක්ටීරියා වර්ධනය වන්නට පටන් ගත් විටයි. (papules)
- සමහර ඉදිමුණු තැන් සැරව වලින් පිරී ගොස් සැරව බිබිලි ඇතිවෙනවා. (pustules)
කුරුලෑ බොහෝ විට දකින්ට ලැබෙන්නේ මුහුණ, බෙල්ල, පිට, පපුව, හෝ අත් වලයි.
කුරුලෑ වලින්ම පමණක් විශාල හානියක් නොවුවත් කුරුලෑ තදින් වලඳුනොත්, සමේ කැළැල් ඇතිවෙනවා, නමුත් නිසි ප්‍රතිකාර මගින් මෙය වලක්වා ගත හැකියි.
කුරුලෑ ඇති වීමට හේතුව කුමක්ද?
කුරුලෑ ඇති වීමට හේතුව හරියටම කියන්න අමාරුයි.
යෞවනයන්ට කුරුලෑ ඇති වීමේ ප්‍රධානම හේතුව බොහෝවිට, යෞවනයට පත්වීමේදී ඔවුන්ගේ හෝමෝන (hormones) පද්ධතියේ ඇතිවන උද්දීපනයයි. මෙම වෙනස්වීම නිසා සමේ ස්වේදය නිපදවීම වැඩිවී සම වඩාත් තෙල් ගතියක් ඇති කරනවා.
පවුලේ වෙන කාට හෝ කුරුලෑ ඇත්නම් ඔබටත් තිබීමේ හැකියාව වැඩි වෙනවා.
- රූපලාවන්‍ය සඳහා යොදා ගන්නා තෙල් සහිත ද්‍රව්‍ය
- සම තදින් ඇතිල්ලීම
- මානසික අසහනය
- නොමේරූ කුරුලෑ කැඩීම හෝ මිරිකීම
- පරිසර දූෂණය හා ඉහළ ආර්ධතාවය
- ඔසප් වීමේදී, උපත් පාලන පෙති ගැනීමේදී/නැවැත්වීමේදී ඇතිවන හෝමෝන වෙනස
කුරුලෑ පිළිබ්ඳ මිත්‍යා විශ්වාස බොහෝමයි.
- සමහරක් විට කවුරුන් හෝ ඔබට කියා ඇති කුරුලෑ ඇති වන්නේ හොඳින් සෝදන්නේ නැති විටයි කියලා, නමුත් මේක වැරදියි. කලු ලප අතිවෙන්නේ කුණු නිසා නෙවෙයි. තදින් ඇතිල්ලීම කුරුලෑ තවත් වැඩි කල හැකියි.
- බොහෝ දෙනෙක් කියනවා තෙල් සහිත ආහාර කුරුලෑ ඇති කරනවා කියලා, නමුත් චොකොලට්(chocolate) , මේද ආහාර (fatty foods) වලින් කුරුලෑ ඇතිකරනවයි කියා පිලිගත් සාක්ෂි තවම නැහැ. සමහර සමීක්ෂණ වලදී ඉහළ ශක්තිජනක, කෙඳි අඩු ආහාර කුරුලෑ උත්සන්නවන බව පෙන්වුවත් මෙය බොහෝවිත ආහාරයේ ශක්තිය ඉක්මනින් නිදහස් වීමේදී ඇතිවන හෝමෝන වෙනස නිසා බවයි පිළිගැනෙන්නේ.
- සමහර අය හිතනව කුරුලෑ බෝ විය හැකියි කියලා, මේකත් වැරදියි. කාටවත් කුරුලෑ බෝ වෙන්නටත්, බෝ කරන්නටත් බෑ. කුරුලෑ ඇති කෙනෙක් (ආදරවන්තයා කියල කියමුකෝ) සිප ගත්තයි කියලා කුරුලෑ ඔබට බෝ වන්නේ නෑ. කුරුලෑ ඇතිවන්නට බැක්ටීරියාවන් හේතු වුවත්, මේවා සමේ ස්වාභාවිකව ජීවත් වන, වෙනත් බොහෝ වෙලාවට "අහිංසක" බැක්ටීරියාවනුයි.
- ලිංගිකව ස්වයං වින්දනයේ යෙදෙන අයට වැඩිපුර කුරුලෑ එනවයි කියල ඔබ අහල තියෙනවද? එහි කිසිම සත්‍යයක් නැහැ. ඒත් මානසික පසුතවීම, අවිවේකීභාවය, තරඟකාරී ක්‍රීඩා සමග කුරුලෑ ඇති වීමේ සම්බන්දයක් තියෙනවා. ස්ව්යං වින්දනය පිළිබඳව ඔබ බියටත් පසුතැවීමටත් පත්වී සිටී නම් සමහර විට එය කුරුලෑ ඇතිවීමට බලපෑ හැකියි. ඒත් මෙය ඔබ අනිවාර්යයෙන් දත යුතුයි, ලිංගික ස්ව්යං වින්දනයත් කුරුලෑ ඇතිවීමත් යන දෙකම යොවුන්වියේ නිරෝගි සෞඛ්‍ය සම්පන්න අයට ඇතිවන ස්වාභාවික සංසිද්ධි දෙකක්. ඒ දෙකම පිළිබඳව ඔබ පසුතැවිල්ලට පත් විය යුතු නැහැ.
කුරුලෑ තිබෙන බොහෝ දෙනෙක් එයට පොඩ්ඩක්වත් කැමති නැහැ. සමහරුන්ට එය ලජ්ජාවට කාරණයක්, සමහරුන්ට මානසික කනස්සල්ලට පවා පත් වීමට හෙතුවක්. ඔබ එතරම්ම එය ගැන වද වෙනවා නම්, එය වෛද්‍යවරයාට පවසන්නට මැලි වන්නට එපා. සුව කිරීමට වඩාත් ප්‍රභල ඖෂධ එවිට භාවිතා කරාවි.
කුරුලෑ යෞවනයේ රෝගයක්, බොහෝවිට එය වයසින් වැඩිවන විට ඇරී යනවා. සාමන්‍යයෙන් කුරුලෑ ඇතිවන කාලය අවුරුදු පහක් පමණ, නමුත් සමහර විට මෙය අවුරුදු ගණනක් දිගට පැවතිය හැකියි.
කුරුලෑ අඩුකර ගැනීමට ප්‍රතිකාර උදව් කර ගත හැකියි, නමුත් ප්‍රතිකාරය සාර්ථක වනවාදැයි බැලීමට මාස දෙකක් වත් ගත වෙනවා. තවද ප්‍රතිකාරය අවම වශයෙන් මාස හයක් වත් ගැනීමට සිදුවේ. ප්‍රතිකාර මුහුනේ කැළැල් අඩුකිරීමට හේතුවේ.
එක් ප්‍රතිකාර ක්‍රමයකින් ඵලක් නැත්නම්, නැවත වෛද්‍යවරයා කරා ගොස් වෙනත් ප්‍රතිකාරයක් යොදා බැලීම සුදුසුයි.
බොහෝ විට මේ සඳහා ඔබේ සාමාන්‍ය වෛද්‍යවරයාටම ප්‍රතිකාර කල හැකි නමුත් චර්ම රෝග විශේෂඥ (dermatologist) වෛද්‍යවරයෙකුට යොමු කිරීමට හේතු,
- ඉතා තදබල ලෙස පැතිරුණු කුරුලෑ තිබුනොත්
- කුරුලෑ නිසා සම කැළැල් වීමේ අවදානමක් තිබුනොත්
- ප්‍රතිකාර ක්‍රම කීපයක් බලා තවමත් සුවයක් නොතිබුනොත්
- කුරුලෑ ඇතිවන්නෙ ආසාත්මිකතාවයක් නිසා නම්
නිවසේදී වෙද-හෙදකම්,
- මනා ශරීර ස්වස්ථතාව - කුරුලෑ ඇති ප්‍රදේශය හොඳින් සබන් යොදා දවසට කිහිපවරක් සේදීම.
- අලුත් පළතුරු වර්ග හා එළවළු වර්ග වැඩිපුර අනුභව කිරීම.
- වේදනාකාරී කුරුලෑවක් ඇති වූ විට එය උණු වතුරින් තැවීම.

සම නීරෝගීව තබා ගැනීමට ඔබටම කල හැකි දේ වන්නේ,
- ඔබේ සම පරිස්සමින් පිරිසිඳු කරන්න. සමහරුන් තදින් මැදීමෙන් කලු ලප, තෙල් ඉවත් කිරීමට ගන්නා උත්සාහය නුසුදුසුයි.
- කුරුලෑ ඇල්ලීමෙන් වලකින්න. ඒවා මිරිකීම/කැඩීම නොකල යුතුයි.
- සම අව්වට පිච්චීම අවම කරන්න, විශේෂයෙන්ම සමහර ඖෂධ වර්ග අව්වට සම පිච්චීම වැඩිකරයි.
- පරිස්සමින් රැවුල කැපීම (shaving) සිදුකරන්න. එලෙක්ට්‍රොනික් හෝ සේෆ්ටි රේසර්(electronic/safety razors) භාවිතය වඩාත් සුදුසුයි.
- තෙල් රහිත රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කරන්න.
වෛද්‍ය ප්‍රතිකාර මොනවාද?
කුරුලෑ වලට අදාල ප්‍රතිකාර ඖෂධ කීපයක්ම ඇත. ඔබට ලැබෙන ප්‍රතිකාරය කුරුලෑ වල තදබල බව අනූව තීරණය වේ.
ප්‍රතිකාර කුරුලෑ තත්වය බොහෝ දුරට මැඩපවත්වයි. නමුත් එය ක්‍රියාත්මක වීමට සති 8ක් වත් ගත වේ.
වෛද්‍යවරයා නිර්දේශ කල හැකි ඖෂධ,
බෙන්සොයිල් පෙරොක්සයිඩ් (Benzoyl Peroxide)
ජෙලි, ක්‍රීම් හෝ දියර ලෙස ඔසුහල් වලින් ලබා ගත හැක. පාවිච්චි කර බැලීමට සුදුසු පලමු ඖෂධයයි. සියයට 2.5 හෝ සියයට 5 සාන්ද්‍රණයෙන් ලබා ගත හැකි මෙය සබන් යොදා සෝදා, සම වියලා එය මත දිනපතා නින්දට යාමට පෙර ආලේප කල යුතුයි.
ප්‍රතිජීවක (Antibiotics)
කුරුලෑ සඳහා තවත් ප්රත්යක්ෂ ඖෂධයකි. මුඛයෙන් කරල් හෝ පෙති වශයෙන්ද, දියර හෝ ක්‍රීම් ලෙස සමෙහි ආලේපයටද ලබා ගත හැක.
ට්‍රෙටිනොයින් (Tretinoin)
හොඳ ප්‍රතිඵල ලබා දෙන ඖෂධයකි. දවසට වරක් ආලේප කරන ක්‍රීම් වර්ගය ඇස්, මුඛය හා නාසය තුල ආලේප කිරීම නුසුදුසුය. මෙය ආලේප කර තද අව්වට නිරාවරණය නොවිය යුතුය.
අයිසොට්‍රෙටිනොයින් (Isotretinoin)
ඉතා තදබල ලෙස පැතිරුණු කුරුලෑ ඇති අයට පමණක් වෛද්‍ය උපදෙස් මත ලබා දේ.
References,
Guidelines of care for acne Vulgaris management
emedicine - Acne Vulgaris
Medscape - Acne Resource centre
Acne Vulgaris wikipedia
ලිපිය වටිනව, මගෙ යාළුවෙක් ඉන්නව මෑන්ස්ට කියන්න ඕනෙ මේක බලන්න කියල, මට නම් කුරුලෑ ගාණක් නෑ, එනව යනව, මමත් ඒ ගැන හිතන්නෙ නෑතුව ඉන්නව. :)
නියම ලිපියක්.. ස්තුතියි..
දිනකට කිහිප වරක් සබන් ගා මූණ සේදීම කලයුතුමයි. ඒ මුහුනේ ඇති සියුම් සිදුරු, ග්‍රන්ථි ආදිය හිර නොවී තබා ගැනීමටයි. නොයෙක් ක්‍රීම් වර්ග වෙළඳ පොලේ තිබුනත් ඒවායින් පලක් ඇද්ද නැද්ද යන්න කියන්න අමාරුයි. 1/2% Hydrocortisone ක්‍රීම් එකක් වශයෙන් පාච්චිචි කිරීමෙන් මේක යටපත් වෙනව. මේක බෙහෙත් සාප්පුවකින් පිලියෙල කර ගන්න පුලුවන් කියල මම හිතනවා. බොහෝ වෙලාවට විෂ බීජ ගිහින් පැසවන කොට Vibramycin, Minomycin Tetracycline හෝ වෙන දීර්ග Tetracycline වර්ගයක් ගැනීමෙන් පැසවීම යටපත් වෙනව. කොහොමත් ප්‍රතිකාරය දීර්ග කාලීන බව මතක තබාගන්න ඕන. දීර්ග කාලීන ප්‍රතිජීවක (antibiotics)ගන්න කොට උපත් පාලනයට පෙති ගන්න කාන්තාවන් සිහියේ තබා ගත යුතු දෙයක් තියෙනව. එතකොට උපත් පාලන පෙත්ත ක්‍රියාවිරහිත වෙනවා.
ඇත්තටම මේක හරිම වැදගත් ලිපියක් තමා.මටත් තියෙන ලොකුම ප්‍රශ්න වලින් එකක් තමා මේ.හැබැයි ගොඩක් දෙනා කියන්නේ මුහුණ සබන් දා සෝදන්න එපා කියලානේ. මාත් නිතරම හිතනවා කුරුලැව නම් කඩන් නෑමයි කියලා.ඒත් එකක් දෙකක් ආවාම ඉබේම අත යන්නේ කුරුලෑවට.දැන් මූණ පුරාම කලු තිත් තියලා වගේ
@madhawa,
ඔබ පවසන විදියට කුරුලෑ යෞවනයේදී ඇති වන තත්වයක් බවත්, එය කණගාටුවට කරුණක් නොවන බවත් වටහා ගැනීම ඉතා වැදගත්. මෙම අඩවියෙහි මුල්ම අදහස් දැක්වීමට(comment) ඔබට ස්තුතියි.
@kanishka ස්තුතියි.
@සරත් ගුණතුංග,
දිනකට කිහිප වරක් සබන් ගා මූණ සේදීම කල යුතුය යන ප්‍රකාශය නිවැරදි වුවත්, වැරෙන්, නිතර මුහුණ සේදීම අනුමත කොට නැත. එසේම කුරුලෑ සඳහා Hydrocortisone ක්‍රීම් පාවිච්චිය සුදුසු නැත. කිමද යත් Hydrocortisone යනු immunosuppressive ඖෂධයකි, එයින් කුරුලෑ සුව කිරීමට උදව් නොදී, එහි ඉදිමීම, වේදනාව පමණක් අස්වසයි. දිගු කාලීන පාවිච්චිය නිසා සම තුනී වීම(එනිසා සම හානි වීමට ඇති හැකියාව වැඩිවීම ) හා වෙනත් steroid ආශ්රිත අතුරුඵල ඇතිවේ.
අනෙක් කරුණු මතු කිරීම ගැන බොහොම ස්තුතියි.
@මම,
කුරුලෑ වේදනාකාරී වූ පලියට මිරිකන එක නම් ඒ තරම් නුවණට හුරු නැහැ. සමහර විට නිය වල හා ඇඟිලි වල ඇති විෂබීජ මගින් ආසාධනය වැඩිවෙන්නත් බැරි නැහැ.
අනුමත කිරීම සිදුකරන්නේ කවරෙක්ද?
අවුරුදු ගනනක පලපුරුද්දෙන් සහ 1/2% HC වලින් කිසිම හානියක් වන බවට කිසිම වෛද්‍ය සඟරාවක සටහනක් නැති බවෙනුත් එසේ ලිව්වෙමි. HC ඒ ප්‍රමානයට නිර්දේශ කොට මා විසින් රෝගීන් දහස් ගනනක් සුව කොට ඇත. ඉතාමත්ම අවශ්‍ය වන්නේ රෝගියා කෙරෙහි ඇති දයානුකම්පාව මිස ඖෂධයම නොවේ.
@සරත් ගුණතුංග
මා පැවසූ දෙයින් ඔබ සිත්වේදනාවට පත් වූවානම් සමාවෙන්න. නමුත් මා ඉගෙන තිබෙන විෂයය කරුණුත්, මෙම පිටුව ලිවීමේදී කල ගවේෂණයේ ප්‍රතිඵල අනූවත් මට පෙනී ගියේ ඔබගේ පිළිතුරේ දොසක් ඇති බවයි.
එය පෙන්වීමට මම උත්සාහ ගත්තේ හුදෙක්ම සියලු රෝගීන් කෙරෙහි දයානුකම්පාවෙනි. මෙම පිටුව කියවන කිසිවකු හෝ මුලාවට පත් වේ දෝ යි සිතා උත්තර දුනිමි. ඔබ බෞද්ධයෙකු යැයි මා හට පෙනෙන බැවින් කාලාම සූත්‍රය මතක් කර දෙනු කැමැත්තෙමි.
කිසිම දොසක් නැහැ, මේ රටවල් වල බොහෝ විට පාවිච්ච් කරන්නේ,(1/2% Hydrocotisone in Emulsifying cream to be applied as a thin lotion) මේ අන්දමටයි. චර්ම රෝග විශේෂඥ වරු පවා දීර්ග කාලීනව කුරුලෑවලට ප්රත්යක්ෂ ඖෂධයක් වශයෙන් මෙය නිර්දේශ කරනවා. ඔටාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේශනයකදී කුරුලෑවලට ඉතාමත් සාර්ථක ඖෂධයක් වශයෙන් ඔප්පු වුනා. පර්යේෂනය කලේ මේ අන්දමටයි. එක් එක් ප්‍රදේශවල වෛද්‍ය වරුන් එක්තරා දිනක සිට, තමා හමුවට එන රෝගීන් පලමුවැන්නා එක් ක්රමයකටත්, දෙවැන්නා තවත් ක්රමයක්ටත් තුන්වැන්නා තවත් ක්රමයකටත් අපි පිලියම් කරා. හතරවැන්නා පලමුවැනි ක්‍රමයටම ආයෙත් පටන් ගත්තා. රෝගීන් එක් ප්‍රතිකාර ක්‍රමයකට 25ක් වුනාට පසු පර්යේශනය නතර කලා. ප්‍රථිඵල අනුව ඉතාම සාර්ථක වුයේ 1/2% HC නිසා මම එසේ කිව්වෙ. ඔබ සඳහන් කරන Side effects HC වල තිබෙනව, නමුත් ප්‍රායෝගිකව ගත්තම එපමන බලපෑමක් නැහැ. ඒක එතකොට ඇදුම රෝගයට සල්බියුටමෝල් ගත්තම ටිකක් වෙවුලන ගතියක් නිසා ඒක ගන්න එපා කියනව වගේ. ඔබගේ ඉස්සර සටහනකට මම ප්‍රතිචාරයක් දක්වන්නට හිටියත් මම දැම්මෙ නැහැ. වෛද්‍ය විද්‍යාව යැපෙන්නෙ පර්යේෂන මත. පර්යේෂන කියන්නෙ සුදු කෝට් එකක් දාගෙන ලැබ් එකකට ගිහින් ටෙස්ට් ටියුබ් හොල්ල හොල්ල ඉන්න නෙවෙයි, සාමාන්‍ය ජීවිතයේ හමු වෙන ප්‍රශ්න ගැන සලකා බැලීම. එහෙම අපි කරපු වෙනත් පර්යේෂනයකදී, ඇදුම රෝගයේ ප්‍රථම ලක්ෂණය ඇදීම නොව කැස්ස බව. ඒත් මම ඒක ලිව්වෙ නැහැ. මේ බව ඕලන්දයේත්, ජර්මනියේත් කල පර්යේෂන වලින් ඔප්පු වී තියෙනව.
@සරත් ගුණතුංග,
පැහැදිලි කිරීමට ස්තුතියි. ඇදුම සම්බන්දයෙන් ඔබ මතු කල කරුණද බොහෝ වටී.
@සරත් ගුණතුංග,
පැහැදිලි කිරීමට ස්තුතියි. ඇදුම සම්බන්දයෙන් ඔබ මතු කල කරුණද බොහෝ වටී.
මුලින්ම භාග දොස්තර මහත්තයාට සුභ පතනවා සිංහල බ්ලොග් අවකාශයට පිවිසීම සම්බන්ධයෙන්.. කාටත් වැදගත් වටින කියන මාතෘකා පිළිබඳ ලිපි ලියවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.. මටත් මේ කුරුළෑ ප්‍රශ්ණෙ නම් තියෙනවා, ඒත් වැඩිය ගණං ගන්නේ නෑ.. Clean & Clear ෆේස් වොෂ් එක පාවිච්චි කරනවා.. ඒත් කියන්න තරම් අඩුවක් නෑ.. මේ ලිපියේ තියෙන බෙහෙත් ටිකත් පාවිච්චි කරලා බලන්නම්.. දිගටම මේ වටිනා වැඩේ කරගන යන්න සුභපතනවා.. :)
අදනේ භාග දොස්තර මහත්තයෝ, බ්ලොග් එක දැක්කේ. ඉතාම වටින සහ වැදගත් බ්ලොග් අඩවියක්. මේ ලිපියත් එහෙම්මයි. මේ, පොඩි යෝජනාවක් කරන්න අකමැත්තක් නැති වේවි නේද? බැරිද ඇනීමියා රොග තත්වය ගැනත් ලියන්න ලිපියක්?
@Udara,
බොහෝමත් ස්තුතියි යාලුවා.
@Ansh Lucky Sri Jay,
හොඳ අදහසක්, බලමු.
@සරත් ගුණතුංග,
ස්තුතියි. ඔබටත් තෙරුවන් සරණයි.
හ්ම්ම්..මටත් තියනවා කුරුලෑ...අවුරුදු 10ක් විතර.මුල් කාලයේ ඉතා අධිකව තිබුනා.නමුත් දැන් එතරම් නැති උනත් නැත්තටම නැතිවී නැහැ.කළු ලප ඇතිවීම තමා සිදුවන්නේ.කොහොම නමුත් ඔබේ ලිපිය ඉතා අගනා ලිපියක් මට.ඔබ කිව් කරුනු පිළිබද සැලකිලිමත් වෙනවා.බොහොම ස්තූතියි.
ඔබෙන් පොඩි ඉල්ලීමක් තියනවා.හැකිනම් Word verification ඉවත් කරනවද? එය ප්‍රතිචාර දක්වන්නෙකුට ඉතා පහසුයි.
@චමිදේවා,
කරදරයක්ද? බලමු අයින් කරල, SPAM තියෙයිද දන්නෙනෑ.